ශ්‍රී ලාංකිකයන් වූ කලී අභිමානවත් වූත්, නිර්මාණශීලී වූත් ජනතාවකි. ඔවුන්ගේ හසුරු කුසලතාවයන්ගෙන් පිරිපුන් විශ්මිත නිමැවුම් කලාත්මක අගයෙන් අනූනය. එවන් වූ ජනතාවකගේ ඉතිහාසය දුරාතීතයට විහිද යයි.. දේශයේ අභිමානය මනාව පිළිබිඹු කෙරෙන අනුරාධපුර පොළොන්නරු සෙල්මුවා නිමැවුම්, ඇම්බැක්ක දැව කැටයම්, සියුම් කැටයමින් අලංකෘත සිංහාසන, ඔටුනු, ආභරණ හා රන් කඩු ද, පිත්තල කැටයම්, ලාක්ෂා, සේසත්ද, වෙස් මුහුණු ද අති විශිෂ්ට නිර්මාණයෝ වෙති.
විස්කම් දෑතින් නිමැවෙන එවන් වූ හෙළ අත්කම් පෝෂණය කිරීමත්, සංරක්ෂණය කරමින් මතු පරපුර වෙත දැක බලා ගැනීම සඳහා ජාතික ශිල්ප සභාව විසින් මෙම කලාගාරය පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව අඩසිය වසකට ආසන්න කාලයක් තිස්සේ “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගාවලියේදී විශ්මකර්ම, ස්වර්ණ, රජත හා ජාතික සම්මානයට පත් වූ විශිෂ්ට නිර්මාණ එකතුවක් මෙම කලාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා විදහා දක්වා තිබේ. ඒවා අතර සේසත් හා ලාක්ෂා නිර්මාණ, දැව කැටයම්, මූර්ති, වෙස් මුහුණු, පිත්තල කැටයම්, රූකඩ, මැටි භාණ්ඩ, වාද්‍ය භාණ්ඩ, දුම්බර රටා, සාම්ප්‍රදායික චිත්‍ර, බතික්, රේන්ද හා පැදුරු වැනි සුවිශේෂී නිර්මාණ වෙති.
ශ්‍රී ලංකාවේ පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ අගය කරන දෙස් විදෙස් සංචාරකයින්ටත්, විවිධ ශිල්ප ක්ෂේත්රයන් පිළිබඳව පර්යේෂණවල නියැලී සිටින පර්යේෂකයන්ටත්, පාසල් හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මෙම අත්කම් කලාගාරය දැනුම් සම්භාරයක් ලබාගත හැකි ස්ථානයකි.
සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින හි පෙ.ව. 8.30 සිට ප.ව.4.00 දක්වා විවෘතව ඇති මෙය කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා ඇත.