ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) යටතේ පැවැති කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත උසස් අභ්‍යාස ආයතනය 2022.09.09 දින ජාතික ශිල්ප සභාව වෙත පවරා ගනු ලැබිණි.
ලක්සල සතුව පැවති සියළුම පුහුණු මධ්‍යස්ථාන 2008 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් ජාතික ශිල්ප සභාව වෙත පැවරුවද කටුබැද්ද වඩු පුහුණු මධ්‍යස්ථානය ඇතුළු තවත් පුහුණු ආයතන කිහිපයක් තව දුරටත් ලක්සල විසින් රඳවා තබා ගැනුණි. එහෙත් එදා සිට මේ දක්වා වසර දොළහකට අධික කාලයක් කටුබැද්ද වඩු කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි පවතින වටිනා ගොඩනැඟිලි හා යන්ත්‍රෝපකරණ විනාශ වෙමින් පැවති බැවින් එම ආයතනය යළි පණගැන්වීමට ජාතික ශිල්ප සභාව වෙත පවරන ලෙස ඉල්ලීම් කරනු ලැබීය.
ඒ අනුව ගරු කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ මැදිහත්වීම හා උපදෙස් පරිදි එම ආයතනය ජාතික ශිල්ප සභාව වෙත භාරදීමට ලක්සල ආයතනය එකඟතාව පළ කරන ලදී. රට පුරා විසිරී පවතින වඩු පාසල්වල වාර්ෂික පුහුණු පාඨමාලා අවසන් කරන පුහුණුලාභීන් ට 2009 වසර දක්වා උසස් ඩිප්ලෝමා පාඨමාලාව පවත්වනු ලැබුවේ කටුබැද්ද උසස් අභ්‍යාස ආයතනය තුළ දී නමුත් පසුගිය වසර ගණනාවක් මෙම ආයතනය වසා දැමීම නිසා වඩු කර්මාන්ත ක්ෂේත්‍රයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව මුළු රටටම අහිමි ව පැවැතිණි.
ජාතික ශිල්ප සභාව මඟින් මෙම වටිනා සම්පත් ප්‍රයෝජනයට ගනිමින් නැවතත් කටුබැද්ද වඩු කර්මාන්ත උසස් අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමටත් ඒ තුළින් වඩු කර්මාන්තයේ ප්‍රවීණයන් රටට දායාද කිරීමටත් අපේක්ෂිතය. ඒ අනුව එම ආයතනය පවරා ගැනීමට අදාළ අවබෝධතා ගිවිසුමකට එළඹීම 2022.09.09 වන දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් (ප්‍රතිව්‍යුහගත කිරීම්) රංජිත් විමලසූරිය මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) සුභද්‍රා වල්පොල මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) කේ. ලක්කදාස් මහතා සහ අධ්‍යක්ෂ (සංවර්ධන) එන්.කේ.චතුරංගනී මහත්මිය සහභාගි වූහ.
ජාතික ශිල්ප සභාව වෙනුවෙන් සභාපති සම්පත් ඇරැහැපොල මහතා, අධ්‍යක්ෂ චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතාද, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නීතිඥ ලක්මාල් වික්‍රමආරච්චි මහතා, කළමණාකරණ අධ්‍යක්ෂ (වැ.බ.) සී.එන්. දසනායක මහතා, අධ්‍යක්ෂ (සැලසුම් ජාල කළමනාකරණ) (වැ.බ) සම්පත් සෙනෙවිරත්න මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කේ.එල්.එම්. සමරතුංග මහතා සහභාගි වූහ.